සංස්කෘතිය

සනකපකකව

සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත්තේ ඉංග්‍රීසියේ යෙදෙන [Culture] නමැති වදනට අනුරුපීවය. මානව චර්යාව එනම් වාචික හා වාචික ‍නොවන නිෂ්පාදන ඇතුළත් ‍‍භෞතික නොවන දේ අදාළ කරගත් සියල්ල පොදු‍වේ සංස්කෘතිය ලෙස සැලකේ. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරයි. එසේම සාමාන්‍ය ව්‍යවහාරයේ ගත්කළ සංස්කෘතිය යන අර්ථයේ උසස් පහත් බවක් යනුවෙන් ශිෂ්ට සහ අශිෂ්ට යනුවෙන් බෙදීමක් දක්නට ඇත. උදා: ශිෂ්ට සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්නේ ඉහළ පන්ති නි‍යෝජනය කරන සමාජය සම්බන්ධ කර ගත් චර්යාවයි.අශිෂ්ට යයි කී විට ම්ලේච්ඡ සමාජවල සංස්කෘතිය ගැන කියවේ. ඒ කෙසේ සංස්කෘතිය සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකල්පයක් ලෙසද හදුන්වා දීමට පුළුවන.

මානව විද්‍යාත්මක අර්ථයෙන් බලන කළ සංස්කෘතිය පිළිබද සංකල්පය සවිස්තරාත්මක ලෙස විග්‍රහ වෙයි. එසේම එමගින් විද්‍යාත්මක පදනමක්ද දැක ගත හැකිය.මානව පැවැත්මේ සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට සම්බන්ධවේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි අවි ආයුධ,ඇඳුම් පැළඳුම්,සිරිත් විරිත්,විශ්වාස, සංස්ථා,පුදපූජා යනාදී සියල්ලම සංස්කෘතියට අයත්වේ. මෙහිදී ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව, සමාජ චර්යාව, දේශපාලන හා ආගමික චර්යාව, විනෝද කටයුතු ආදී මේ සියල්ලම සංස්කෘතිය තුළින් විද්‍යමාන වේ. ඇත්තවශයෙන්ම සංස්කෘතිය මිනිසාගේ සමාජ අවශ්‍යතා තෘප්තිමත් කරන ක්‍රියාවලියක් පමණක් නොව පරිසරයේ උචිත ආකාරයෙන් ජීවත් වීමට උගන්වන ක්රිරයාදාමයක් ලෙසද හැදින්විය හැකිය. මනසේ හා ශරීරයේ නිර්මාණයක් ලෙස සංස්කෘතිය මිනිසාටම ආවේණික සංසිද්ධියක් ලෙසද අපට හදුන්වා දීමට පුළුවන.සංස්කෘතිය ගතිකය.

එය ගතික ක්‍රියවලියක ප්‍රතිඵලයකි.සංස්කෘතිය නොකඩවා වෙනස්වෙමින් පවති.සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන පරම්පරාගත නිපදවීමකි.සංස්කෘතිය සමාජයට බද්ධය.සමජයෙන් වෙන් කොට අධ්‍යයනය කළ හැකි පද්ධතියක් නොවේ.පුද්ගලයකු සංස්කෘතිය ඉගෙන ගන්නේ සමාජයෙනි.සංස්කෘතිය සමාජ උරුමයකි.සංස්කෘතිය සැම ක්ෂේත්‍රයක් පුරාම ව්හිදුණු පද්ධතියකි.

"සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අයත් කර ගන්නා වූ, ලබාගන්නා වූ, දැනුම විශ්වාස කලා සදාචාර දහම් හා වෙනත් හැකියාවන්ගෙ සමස්තය සංස්කෘතිය වේ". ~ඊ.බී.ටයිලර් - (ප්‍රාථමික සංස්කෘතිය)

"සංස්කෘතිය යනු කිසියම් ස්ථානයක වෙසෙන ජනකායගේ සාමූහික ජීවන ක්‍රමයයි.ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විචාර, සමාජ සංස්ථා, කලාව හා ආගම තුළින් සංස්කෘතිය ප්‍රකට වෙයි". ~ මහාචාර්ය විමල් දිසානායක - (විවාදාත්මක ලිපි)

අනන්‍යතාවය යනු

සංස්කරණය

විවිධ විද්වතුන් සංස්කෘතිය තමන්ගේ මත පදනම් කරගෙන නිර්වචනය කර ඇත. මුල්ම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ 1861 දී ප්‍රාථමික සංස්කෘතිය නමින් කෘතියක් ලියූ බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ.බී.ටයිලර් (E.B.Tylor)ය. ජර්මන් වචනයක් වන කුල්ටූර් (Kultur) යන පදය උපුටා දක්වමින් ඔහු සංස්කෘතිය අපට හඳුන්වා දුන්නේය. ඔහුට අනුව සංස්කෘතිය යනු “සමාජයේ සමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත් පරිණතවූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාර ධර්‍මයන්, නීතිය, සිරිත හා අනෙකුත් සියළුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.

පසුකාලීන සමාජ හා මානව විද්‍යාඥයන් විසින් මෙම නිර්වචනයට තවතවත් අංග එකතුකොට ඇත්තේය. සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධානය හා සම්බන්ධ කරගනිමින් මලිනොවුස්කි හා ප්‍රාන්ස් ‍බෝආස් නම් මානව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. මලිනොවුස්කි ප්‍රකාශ කළ පරිදි සංස්කෘතිය ශිල්පීය ක්‍රම, භාණ්ඩ තාක්ෂණික ක්‍රියාවලීන්, අදහස්, පුරුදු සහ ඇගයීම්වලින් සංයුක්ත වී ඇති බව කියවේ. ඔහු වැඩිදුරටත් පවසනුයේ මෙම සියළුම අංග ලක්ෂණ අන්තර් සම්බන්ධ වී ඇති අතර සමස්ත ජීවන රටාවේ ස්වරූපයක් එමගින් ගොඩ නංවන බවයි. එසේම මලිනොවුස්කි අවධාරණය කරන පරිදි පුද්ගලයාගේ ජීව මනෝ ප්‍රේරණයන් සංතෘප්තිමත් කිරීමේදී මෙම සංස්කෘතික අවශ්‍යතා ඉතා වැදගත් වේ. “ප්‍රාන්ස් බෝආස්” සංස්කෘතිය ගැන අවධාරණය කරමින් එය කෘත්‍යාමත්මක හා සංවිධානාත්මක සමස්තයක් ලෙස හඳුන්වා දෙයි. මලිනොවුස්කිට පසුව බොහෝ මානව විද්‍යාඥයන් සංස්කෘතියේ කෘත්‍යාත්මක අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම අවබෝධ කර ගෙන ඇත.

මාග්‍රට් මීඩ්, ඒ.ඇල්.ක්‍රෝබර්, රූත් බෙනඩික්ට් සංස්කෘතිය සමාජයීය විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වා දී ඇත. 1940 දී රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.ක්‍රෝබර්(Krober) සහ ක්ලක්හෝන් (Kluckhorn) සංස්කෘතිය නිර්වචනය කරන්නේ මිනිස් චර්යාවේ ප්‍රකට හා අප්‍රකට රටාවන් සංකේත මගින් ව්‍යාප්ත කරන මානව සමූහවල සුවිශේෂ සාධනයක් ලෙස ගොඩ නැගුණ ක්‍රියාවලියක් ලෙසයි. 1963 දී ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය පිළිබඳ නිර්වචන සියගණනක් සොයා ගන්නා ලදි. ඔවුන්ට අනුව සංස්කෘතිය චර්යාවන්ගේ ගවේෂණයක් හෝ චර්යාවක් නොව එහි සමස්ත සංයුක්තියයි. සංස්කෘතියේ කොටසක් ලෙස චර්යාවේ ප්‍රමිතීන් හා ධර්මතා අඩංගු වේ. අනෙක් කොටස චර්යාවේ තෝරාගත් මාර්ග හා සංකල්පවේදයක් ලෙස ඔවුහු පෙන්වා දෙති. ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය ප්‍රවර්ග හතරක් ඔස්සේ පැහැදිලි කරයි.

  1. විස්තරාත්මක නිර්වචනය
  2. ඓතිහාසික නිර්���චනය
  3. ප්‍රතිමානාත්මක නිර්වචනය
  4. මනෝ විද්‍යාත්මක නිර්වචනය

සංස්කෘතිය පිළිබඳ ව්‍යවහාරය 19 වන සියවසේ මානව විද්‍යඥයන් උපයෝගී කරගත්තත් එය සමාජ ශාස්ත්‍රවල ප්‍රබල බලපෑමක් බවට පත්වූයේ 20 වන සියවසේදීය. ගුඩ් ඉනෆ් (Good Enough) නම් මානව විද්‍යාඥයා සංස්කෘතියේ වෙනත් අර්ථ දෙකක් හඳුනා ගත්තේය. පළමු අර්ථයෙන් හඳුන්වන්නේ ප්‍රජාවක් තුළ ජීවන රටාවයි. එයින් අර්ථවත් කරන්නේ භෞතික හා සමාජයීය ක්‍රියා පිළිවෙලත් සමඟ ගොඩ නැගෙන ක්‍රමානුකූල බවයි. දෙවන අර්ථයෙන් අදහස් කරන්නේ දැනුම විශ්වාස මගින් ජනතාව එකිනෙක ආකාරයට අත්දැකීම් හා සංජානනයන් මගින් ඒ ඒ තත්වයන් මත සංස්කෘතික රටාව ගොඩ නැගෙන බවයි.

සංස්කෘතිය පිළිබඳ ඇති පොදු එකඟතාවයක් නම් එය ඉගෙනගත් හැසිරීමක් බවයි. ස්වාභාවික හා සමාජ තත්වය තුළ මිනිසා අනුවර්තනය කිරීමේ හැකියාව සංස්කෘතිය තුළින් ගොඩනැගී ඇත. භෞතික ලක්‍ෂණ, චර්යා රටා හා සංස්ථා එයට අනුබද්ධිත වී ඇත. සංස්කෘතියේ වාහකයක් ලෙස කටයුතු කරනුයේ භාෂාවයි. පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ලබන අදහස් ව්‍යාප්ත කරන්නේ භාෂාව මගිනි. එය ජනකානු ගති ලක්‍ෂණ මෙන් උරුමයෙන් එන දෙයක් නොවේ. චර්යාරටාව හා සමස්ත දැනුම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට ගෙනයන්නේද භාෂාව මධ්‍යගත කොට ගෙනයි. එසේම සංස්කෘතිය ඒ අනුව වෙනස්වීමකට මෙන්ම වර්ධනයකටද මුල පුරයි.

සංස්කෘතියේ මුලිකාංග

සංස්කරණය

සංස්කෘතිය යනු ක්‍රියවලියකි.එනම් සංස්කෘතිය තුළ මුලිකාංග කිහිපයක් ඒකාබද්ධ වී පවතී.ඕනෑම සංස්කෘතියක් මුලිකාංග වලින් සමන්විතය.එවැනි මුලිකාංග කිහිපයකි

භෞතික සංස්කෘතිය

සංස්කරණය

සංස්කෘතිය අධයනයේදී මූලික වශයෙන් කොටස් 02 කට බෙදෙයි ඒ භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතියයි භෞතික සංස්කෘතියට මිනිසා විසින් නිර්මාණය කරන ලද සියළ හෞතික වස්තූන් අදාල වෙයි සංස්කෘතියට අයත් භෞතිකව ග්‍රහනය කරහැකි සියල්ලම මීට අයත්ය අදුම් පැළදුම් යාන වාහන ගේ දොර ගෘහ උපකරණ නොයෙත් වෘත්තීන් සදහා භාවිත කරණ උපකරණ ඇතුලු සියළ භෞතික වස්තු භෞතික සංස්කෘතියට අයත්ය.

අභෞතික සංස්කෘතිය

සංස්කරණය

සංස්කෘතිය තුල පවතින සියළ භෞතික නොවන සියල්ල අභෞතික සංස්කෘතියට අයත්ය මෙයට භාෂාව අදහස් ආකල්ප චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි විශ්වාස ආදී සංස්කෘතිය තුල පවතින භෞතිකව ග්‍රහණය කරගත නොහැකි සියල්ල අභෞතික සංස්කෘතියට අයත්ය අභෞතික සංස්කෘතිය තේරුම් ගැනීමට අදහස් ප්‍රතිමාන සාරධර්ම යන කාරණා පිළිබද අවබෝධය වැදගත්ය. මෙම භෞතික සංස්කෘතිය හා අභෞතික සංසකෘතියෙහි වෙනස් වීම "සංස්කෘතික ලැගීම" ලෙස ඩබ්.එෆ්.ඔග්බර්න විසින් ප්‍රකාශ කර ඇත.

අදහස් යනු අප සිතන දේය සමාජවල ස්වභාවය අනුව අදහස් විවිධ වෙයි උදාහරණ ලෙස ප්‍රථමික සමාජවල ජන කතා ජන ගායනා ජන කවි ප්‍රස්ථා පිරුළ ජනප්‍රවාද ආදී මුඛ පරම්පරාගත අදහස් බහුලය නූතන සංකීර්ණ සමාජවල තාක්ෂණ දියුණුව අධායපනික දියුණුව සමග මිනිසාගේ අදහස් සංකීර්ණ ස්වභාවයක් ගනී එසේම නූතන සමාජයේ අදහස් පතුරුවා හැරීම ඉතා වේගයෙන් සිදුකල හැක සරල ප්‍රාථවික සමාජ වලට වඩා නූතන සංකීර්ණ සමාජයන්හි අදහස් අතර විෂමතාවය ඉතා ඉහලය ඇතමෙකුට චාරිත්‍රයක් වන දෙයත් තවකෙකු මිතයාවක් ලෙස දකී

ප්‍රතිමාන

සංස්කරණය

සමාජයක ජීවත්වන මිනිසුන් විසින් කලයුතු හා නොකල යුතු මොනවාද යන්න ප්‍රතිමාන හෙවත් ධර්මතා මගින් සමාජයට උගන්වයි ධර්මතා සමාජය විසින් පිළිගැනීම මත යුක්තියට අනුකූලකරණයට ලක්වේ ධර්මතා ආරක්ෂා කිරීමෙන් සිතේ සතුට ප්‍රසංශා තෑගි ලැබෙන අතර ධර්මතා බිදීමෙන් අසහනය දුක අපකීර්තිය හා දඩුවම් ලැබේ ප්‍රතිමාන හෙවත් ධර්මතා සෑම සමාජයකම දක්නට ලැබේ.ප්‍රතිමාන සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි. උදාරණ ලෙස බටහිර සමාජයේ අඩනිරුවත්ව කාන්තාවක් සිටීම වරදක් නොවේ එසේ සිටීම නිසා සමාජයේ මිනිසුන්ගේ අපවාදයට හෝ දඩුවමකට යටත් නොවේ එහෙත් මැදපෙරදිග එසේ සිටිය හොත් සමාජ අපවාද පමණක් නොව දඩුවම්ද ලැබේ. සමාජයෙන් ගර්හාවට ලක්වේ. එපමණක් නොවේ ඒවා පිළිපැදීම අනිවාර්ය කරුණක් බවට පත්ව ඇත්තේ පරම්පරාවෙන් පරම්පරාවට අද දක්වා විකාශනය වී ඇති පුද්ගල සිතුවිලි හා ඔවුන්ගේ විශ්වාසයන් අප කළ යුතුය යන සාමාජයේ නිතීයක් වේ.
ප්‍රතිමාන ප්‍රධාන කොටස් තුනකට බෙදේ ඒවා නම් ජන චර්යා ගණාචාර හා නීතිය

ජන චර්යා
සංස්කරණය

ජන චර්යායනු සුදුසු යැයි සම්මත එහෙත් බලනොකරන ලෝක සම්මත චාරිත්‍රයන්ය ජන චර්යා කඩකිරීම නිසා දඩුවමකට යටත් නොවේ උදාහරණයක් ලෙස සිංහල අළත් අවුරුද්දේ නොනගත වෙලාවේ ආහාර අනුභවය ආහාර පිසීම මෙන්ම සියළ වැඩ අතහැර ආගමික වතාවත් කිරීම ගත හැක එහෙත් එය කඩ කළැයි කියා දඩුවමක් හෝ අපවාදයක් ඇති නොවේ ආහාර ගැනීමට පෙර අත් සේදීම වැසිකිළි භාවිතයෙන් පසු අත සේදීම උදෑසන නැගිට කට සේදීම ආදියද ජන චර්යාවනට උදාහරණ වෙයි සංස්කෘතියෙන් සංස්කෘතියට ජන චර්යා වෙනස් වෙයි බටහිර ජාතීන් කෑමට පෙර අත නොසෝදන අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගනී ඈත පෙරදිග වාසීන්ද එසේ කුඩා කූරු විශේෂයකින් ආහාර ගනී

ගණාචාර
සංස්කරණය

ජනචර්යා වලට වඩා බලවත් ෙලස ගණාචාර දක්වයි ගණාචාර බිදීමෙන් දඩුවමක් නොලැබුනද අවවාද දීම් බැනවැදීම් රවා බැලීම් ඔපාදූප කටකතා පැතිරීම් ආදිය සිදුවේ ඇතැම් විට ගණචර්යා හා ගණාචාර නිශ්චිතව හදුනාගත නොහැක ගණාචාරයකට උදාහරණයක් ලෙස සභාවක් මැද අවිනීතව හැසිරීම එහිදී සමාජයෙන් ඔහුට අනුම බැනුම් අවලාද අසන්නට සිදුවේ

නීති කැඩීම නිසා ඍජුවම දඩුවම් වලට භාජනය වීම සිදුවේ ගණාචාර ජනාචාර හා නීති සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි කෙසේ වෙතත් නීති නම් බොහෝ සංස්කෘතීන්වල වෙනසක් පැහැදිලිව නොපෙනේ උදාහරණ ලෙස මිනීමැරුම් සොරකම් ස්ත්‍රී දූශන සෑම සමාජයකම පාහේ නීති ලෙස ක්‍රීයාත්මක වෙයි

සෞඛ්‍යය

සෞඛ්‍ය පිළිබද සංස්කෘන්ද දක්නට ඇත. ව්‍යාපාර , පාසල් හා අනෙකුත් සියලුම සංවිධාන සංස්කෘනතීන් තුළ දක්නට ලැබේ. සේවකයාගේ හැසිරීම් , එහි නිෂ්පාදනය, කාර්යක්ෂම බව , වර්ධනය මේ සදහා බලපායි. සේවකයාට හෝ ශිෂ්‍යයන්ට සමානව හා සාධාරණය සැලකීම, ගෞරවය මෙහි සංවිධානයක පවතින සෞඛ්‍යයමය කරුණු වේ.

මහා සංස්කෘතිය

සංස්කරණය

මහා සංස්කෘතිය යනුවෙන් හදුන්වනු ලබන්නේ යම් භුගෝල සීමාවක් තුල සිටින සිටින විවිධ ජනකණ්ඩායම් ගෙන් සමන්විත පුලුල් සමාජයකි උදාහරණ ලෙස ශ්‍රී ලංකීය සංස්කෘතිය දැක්විය හැකිය මහා සංස්කෘතිය තුල විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන විවිධ කුලයන්ට අයත් විවිධ ජන කණ්ඩායම් එකම පොදු සංස්කෘතියක් අනුගමනය කරමින් එකට ජිවත් වෙයි මහා සංස්කෘතිය ජාතික සංස්කෘතිය යනුවෙන්ද හදුන්වයි.

උප සංස්කෘතිය

සංස්කරණය

උප සංස්කෘතිය යනු මහා සමාජයට අයත් එත් ඔවුනට ආවේණික සංස්කෘතියක් ගොඩනගාගත් ජන සමූහයකටයි මෙ කුලකයක් තුල පවතින උපකුලකයට සමානය උප සංස්කෘතිය යනු මහා සංස්කෘතිය් කුඩා අංගයක් බව ඩන්කන් මිචෙල් දක්වයි උප සංස්කෘතියක් තුල මහා සංස්කෘතියට අයත් උපාංග වලට අමතරව ඔවුනට ආවේණික උපාංග පවතී උප සංස්කෘතීන් එහි සැලැස්ම මත කොටස් කිහිපයකට බෙදා දැක්විය හැක

  1. ප්‍රාදේශිය උපසංස්කෘතිය
  2. ජනවාර්ගික උපසංස්කෘතිය
  3. ග්‍රාමීය උපසංස්කෘතිය
  4. නාගරික උපසංස්කෘතිය
  5. වෘත්තීමය උපසංස්කෘතිය
  6. ආගමික උපසංස්කෘතිය
 
උප සංස්කෘතියක් යනු මහා සංස්කෘතිය නම්වූ කුලතය තුල අන්තර්ගත උප කුලකයක් ලෙස දැක්විය හැක.

ප්‍රාදේශිය උප සංස්කෘතියකට උදාහරණ ලෙස නාගරික මුඩුක්කු උපසංස්කෘතිය ගත හැක මෙයට සමාන උපසංස්කෘතීන් බොහෝ ඌන සංවර්ධිත රටවල අගනගරය කේන්ද්‍රතරගනිමින් බිහිවී ඇති ආකාරය දක්නට ලෑබේ මොවුන්ට ආවෙණික භාෂාවක් දක්නට ලැබේ මහාසමාජයේ භාවිතකරන භාෂාවම තරමක් වෙනස් ස්වරෑපයකින් භාවිත කරනු දක්නට ලැබේ එසේම වෙනත් භාෂාවකට අයත් වචන ඔවුන්ට ආවේණින ස්වරූපයකින් භාවිත නරයි උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ නාගරික මුඩුක්කු උපසංස්කෘතිය ගත හොත් මහා සමාජයේ භාවිත භාෂාවේ වදන්ම ඔවුන්ට ආවේණික අරුත් දීහට යොදාගනී කචල් වලිය සුද්ද කරනව රිම් එකෙන් යනව ආදිය ගතහැක මීට අමතරව විදේශ භාෂාවලින් ගත් වචන ලෙස බොසා ජිල්මාට් එරියාඑක මෑන්ස් ආදි වචන ගතහැක

වෘත්තීමය උපසංස්කෘතිකන්ට උදාහරණලෙස ගොවියන් පතල් කරුවන් කම්කරුවන් ත්‍රිරොදරථ රියදුරන් ආදී ඔනෑම වෘත්තියක්වටා උපසංස්කෘතියක් ගොඩනැගී ඇති අයුරු දැකගත හැක ගොවියන් කමතේදී ගොවි උපකරණවලට මහාසමාජයේ භාවිත භාෂාවට අනුකූලනොවන විවිධ නම් භාවිත කරයි බැත යතුර අම්බරුවා ඇදී විශේෂිත වචන යොදා ගනී

ආගමික උපසංස්කෘතීන්ට උදාහරණ ලෙස ලංකාවේ ආගමික උපභාෂාවක් දැකිය හැක වළදනව සැතපෙනව දොහොනකරනව වඩිනව ආදී අවෙණික භාෂා භාවිතයක් පවතී උප සංස්කෘතියකට ආවේණික භාෂාවක් මෙන්ම ඹවුන්ට ආවේණික අදහස් ප්‍රතිමාන සාරධර්ම හා ආවේණික අභෞතික සංස්කෘතියක් දක්නට ලැබේ.

සංස්කෘතික ලැග්ම

සංස්කරණය

සංස්කෘතික ලැග්ම යනුවෙන් අදහස් කරන්නේ භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතිය වෙනස් වීමේ වේගය අසමබරවීමයි එනම් භෞතික සංස්කෘතිය වෙනස් වන වේගයට සාපේක්ෂව අභෞතික සංස්කෘතිය වෙනස් නොවීමයි උදාහරණ ලෙස ලෝකය කොතරම් දියුණු වුවද තවමත් ඇතැම් ආකල්ප ගතානුගතික වීමයි බටහිර වෛද්‍ය කුමය කොතරම් දියුණු වුවද තවමත් ඇමුන් ප්‍රතිකාර සදහා නූල් බැදීම දෙහි කැපීම වැනි ශාන්තිකර්ම අනුගමනය කරයි දෙවියන්ට භාරවෙයි තොවිල් පවිල් සිදුකරයි වරදක් වූවිට නීතිය හමුවට යාම මෙන්ම මිරිස් ඇඹරීම පොල්ගැසීම ආදිය සිදුකරයි විශේෂෙයන් පෙරදිග රටවල පැහැදිළිව සංස්කෘතික ලැග්ම දක්නට ලැබේ අපරදිග වාසීන්පවා ඇතැම්විට මෙම සාම්ප්‍රධායි අදහස් තවම ගරුකරයි මෙසේ සාම්ප්‍රධායෙන් බැහැරවීම ඉතා හෙමෙන් සිදුවීම සංස්කෘතික ලැග්ම ලෙස සළකයි.

සංස්කෘතික විසරණය

සංස්කරණය
 
සංස්කෘතික විසරණය යනු එක් සංස්කෘතියක අඩංගු සංස්කෘතිකාංගයක් තවත් සංස්කෘතියකට ව්‍යාප්තවීමයි

සංස්කෘතික විසරණය යනු එක් සංස්කෘතියක දක්නට ලැබුන ලක්ෂණයක් තවත් සංස්කෘතියක් වෙත ගලා යාමයි උදාහරණ ලෙස ආසියාතික රටවලට ගවුම් සාය කලිසම් කෝට් ටයි බැනියම් ආදි ඇදුම් රොම ල්න්දේසි නීතිය නෛතික විවාහ ක්‍රමය ඉංග්‍රිසි ඇතුලු බටහිර ශාෂාවන්හි චවන පෙරදිග භාෂාවන්ට එකතුවීම මත්පැන් හා දම්පානය අතට අතදීම වැනි ආචාර ක්‍රම වික්ටොරියානු සදාචාරය බටහිරින් පෙරදිගට ලැබිනි(විසරණයවිය)බටහිර ශාෂාවලද පෙරදිග භාෂාවලින් විසරණයවූ තත්බව හා තත්සම වචන දක්නට ලැබේ විවිධ ආගස් පෙහෛාමයක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට විසරණය විය බටහිර අධිරජ්‍යවාදයත් සමග සියලුම යටත් විජිතවලට බටහිර සංස්කෘතික ලක්ෂණ විසරණයවූ අයුරු පැහැදිලිව දක්නට ලැබේ මේ ආකාරයට සෑම සංස්කෘතියකම දක්නට ලැපෙන ලක්ෂණ බොහෝමයක් ඔවුන්ගේ සංස්කෘතිය තුලම සම්භවය වූ ලක්ෂණ නොව විසරණය වූ ලක්ෂණබව පෙනීයයි වෙඩි බෙහෙත් සොයාගත්තේ චීන ජාතිකයන් විසිනි ඹවුන්ගෙන් ග්‍රීක ජාතිකයන්ටත් පසුව බටහිර ජාතීන්ටත් ඔවුන්ගේ පෙරදිග ජාතීන්ටත් ලැබුනි අප පානය කරන කෝපිවල ජන්ම භුමිය ඉතියොපියාවයි ඹවුන්ගෙන් අරාබි ජාතිකයන්ටත් අරාබි වෙළදුන්ගෙන් බටහිරට ජාතීන්ටත් බටහිර ජාතීන්ගෙන් අදුණු ආසියාතිකයන්ටත් ලැබිණ තේ පානය මුලින්ම සොයාගත්තේ චීන ජාතිකයන් විසිනි අර්තාපල් තක්කාලි බොන්චිවල නිජබිම ඇමරිකාවයි රබර්වල නිජබිම බ්‍රසීලයයි ලොව ඔනෑම සංස්කෘතියක් සංස්කෘතික විසරණයේ බපෑමට යටත්වේ එසේ විසරණයට ලක් නොවූ කිසිම සංස්කෘතියක් මිහිමත නැත.

මානව කේන්ද්‍රණවාදය

සංස්කරණය

තමන්ගේ සංස්කෘතිය උසස් බවත් ඊට සාපේක්ෂව අනෙකුත් සංස්කෘතින් පහත් බවටත් මානවයා තුල ඇතිවන ආකල්පය මානව කේන්ද්‍රණ වාදය යනුවෙන් හදුන්වයි.බොහෝ පුද්ගලයන් තමා නියොජනය කරන සංස්කෘතිය උසස්බවත් ඊට සාපෙක්ෂව අනෙකුත් සංස්කෘතීන් පහත් බවත් සළකයි.තමා නියෝජනය කරන සංස්කෘතිය තුල හෙලා දකින යමක් තවත් සංස්කෘතියක සාමන්‍ය දෙයක් විය හැක.උදාහරණ ලෙස ශ්‍රී ලාජකීය සිංහල සංස්කෘතිය තුල සර්පයින් ආහාර ලෙස නොගනී එහෙත් බොහෝ ඈත පෙරදිග රටවල සර්පයන් ආහාරයට ගනී.හින්දු ජනයා ගවමස් පිළිකුල් කරන අතර බටහිර හා අරාබි රටවල ජනයා ගවමස් ආහාරයට ගනී.මෙසේ විවිධ සංස්කෘතීන්වල ඔවුන්ට ආවේණික ආහාර භාවිත කඑයි.එසේම ආහාර ගන්නා පිළිවෙළද වෙනස්ය.දකුණු ආසියාතික ජනයා ආහාර ගැනීමට තම දෑත යොදා ගනිද්දී බටහිර ජාතීන් හැදි ගෑරුප්පු යොදා ගනී.ඔවුන් දෑතින් ආහාර ගැනීම පිළිකුල් කරති.ඇදුම් පැළදුම් ගැනද එසේය විවිධ සංස්කෘතීන්ට අනුව ඔවුන්ට ආවේණික ඇදුම් පවතී.මේ ආකාරයෙන් සෑම සංස්කෘතික අංගයක්ස සංස්කෘතියෙන් ස‘ස්කෘතියට වෙනස්ය ඒ අනුව මානව හා සමාජ විද්‍යාව තුල මානව කේන්ද්‍රණවාදී අදහස් ප්‍රතික්ෂේප කරයි.විශේෂයෙන් මේ පිළිබද මත ප්‍රකාශකල වියතුන් අතර ප්‍රකට මානව විද්‍යාඥයෙකුවූ බී.මැලිනොවුස්කි ප්‍රධානය.

ප්‍රතිසංස්කෘතිය

සංස්කරණය

ප්‍රතිසංස්කෘතිය එක්තරා අතකින් උපසංස්කෘතියක්ද වෙයි මෙය විරෝධී සංස්කෘතිය යනුවෙන්ද හදුන්වයි මෙහිදී මහාසංස්කෘතියේ අඩංගු අංග ප්‍රතික්ෂේප කරමින් අලුත් හරයක් ඇතිකර ගැනීමට උස්සාහ දරයි ප්‍රතිසංස්කෘතිය හැමවිටම මහාසංස්කෘතියට විරුද්ධව ගොඩනැගේ.මහා සංස්කෘතිය තුල දක්නට ලැබෙන සංස්කෘතික අංග ප්‍රතික්ෂේප කිරීම හෝ එම අංග ඔවුන්ට අවශ්‍ය පරිධි සංෂෝධනය කරගෙන ඔවුන්ට ආවේණික උප සංස්කෘතියක් ගොඩනගා ගැනීම ප්‍රතිසංස්කෘතිය හෙවත් විරෝධී සංස්කෘතිය තුල සිදුවේග

මෙවන් ප්‍රතිසංස්කෘතීන්ට උදාහරණ ලෙස බාලාපචාරී ළමුන් කණ්ඩායම්ˌපාතාල කල්ලි දැක්විය හැක.ඇතැම් උප සංස්කෘතීන් විරෝධී සංස්කෘතීන් ලෙස ගොඩනැගෙන අවස්ථා ඇත.මෙවන් විරෝධී සංස්කෘතීන්ට අතීත උදාහරණ ලෙස ලංකාවේ උඩරට පහතරට වශයෙන් අධිරාජ්‍ය යුගයේ පැවති බෙදීම දැක්විය හැක.එකළ උඩරට ජනයා සිතුවේ පහතරට ජනයා වේගයෙන් බටහිර සිරිත් විරිත් බටහිර ඇඳුම් බටහිර ආහාරපාන රටා හුරුවීම ප්‍රතිසංස්කෘතියක් ලෙසය.පහතරට ජනයා බුදු දහම වෙනුවට කතොලික හා ක්‍රිස්තියානි ආගම් ඇදහීමටත්.ගවුම් යාය හැට්ට කලිසම් ආදී බටහිර ඇඳුම් ආයිතම් වලට හුරුවීමත් ගවමස් ආදී මස් මාංශ ආහාරයට හුරුවීමත් මධ්‍යසාර දුම්වැටි භාවිතයට හුරුවීමත් එකළ ලංකික මහා සමාජය ප්‍රතික්ෂේපකළ අංගයන්විය.ඇමරිකාවේ හිපි සංස්කෘතිය තවත් උදාහරණයකි.ඇමරිකානු මහා සමාජයේ සංස්කෘති අංග බැහැර කරමින් තරුණ පරපුර තු ගොඩනැගුන මෙම ප්‍රති සංස්කෘතිය ඔවුන්ට අවේණික සංස්කෘතියක් ගොඩනගා ගත්හ.මේ අනුව හිපි තරුණයක් නිල් ඩෙනිම් කලිසම් භාවිත කිරීමටˌවෙස් ගැන්වීම් ක්‍රම අධිකව භාවිතයˌකථන තහංචි නොසලකා හැරීමˌනිදහස් ආලය එනම් විවාහයකින් තොරව ස්ත්‍රී පුරුෂ සංවාසය නිදහස්ව පැවැත්වීමˌසැහැල්ලු ජීවිත ගතකිරීමˌනිර්ආගමික බවˌසම්ප්‍රධායට නොව තාර්කික බවට පමණක් මුල්තැනදීම ආදී දැකිවිය හැක.[1]

විවෘත සංස්කෘතිය

සංස්කරණය

යම් සංස්කෘතියක බාහිර වශයෙන් දැකියහැකි කොටස විවෘත සංස්කෘතියයි මේ නිසා විවෘත සංස්කෘතිය තේරුම් ගැනීමට හැකිය

  • තත්වය හා කාර්යභාරය
  • ධර්මතා හෙවත් ප්‍රතිමාන
  • සමාජ සංස්තා

යන අංගයන් දෙස බැලීමෙන් විවෘත චර්යාවන් අවබෝධ කරගත හැක.

සංවෘත සංස්කෘතිය

සංස්කරණය

සංව්ෘත සංස්කෘතිය යනු යම් සංස්කෘතියක බාහිරට නොපෙනෙන සැගවුන කොටසයි අදහස් විශ්වාස පුරුෂාර්ථ ආකල්ප ඇතැම් සංස්කෘතියක සැගවුන තත්වයකි ඒවා ඍජුව හදුනාගත නොහැක.සිංහල සංස්කෘතිය උදාහරණයට ගතහොත් කුල භේදය වර්තමානයේ ආවෘත සංකල්පයක් ලෙස පවතී.වර්තමාන සිංහල සමාජයතුල විවාහය වැනි අවස්තාවලදී මෙම කුල භේදය අනුව විවාහ තීරණය වීම තවමත් සිදුවේ.මෙයාකාරයෙන් යම් සංස්කෘතියක් දෙස විමසා බැලීමේදී පිට සංස්කෘතියකට අයත් පුද්ගලයන්ට එකවර වෙනත් සංස්කෘතියක් තුල මෙම සංස්කෘතිකාංගය ඇතැයි හදුනාගත නොහැකි යැයි හැගෙන සංස්කෘතික අංග ආවෘත සංස්කෘතිකාංග ලෙස දැක්විය හැක.

සංස්කෘතික සාපේක්ෂතාව

සංස්කරණය

යම් සංස්කෘතියක් නිර්මානය වීම කෙරේ විවිධ සාධක බලපානු ලබයි එවා නම්

  • කාලගුණික හා දේශගුණික සාධක
  • රටක භූගෝලීය සාධක
  • එෙතිහාසික සංසිද්ධි
  • ස්වභාවික ව්‍යසන
  • අර්ථ ක්‍රමයේ ස්වරූපය
  • ආගමික මතවාද

මේ සියල්ල සැලකිල්ලට ගෙන මානවකෙන්ද්‍රනවාදී දෘෂ්ටියතින් තොරව යම් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට සාපේක්ෂව අධ්‍යනය කිරීම සංස්කෘතික සාපේක්ෂතාවය යනුවෙන් හදුන්වයි.

කාලගුණික හා දේශගුණික සාධක

සංස්කරණය
 
ඔස්ට්‍රේලියානු ආදිවාසීන් (1770)
 
නැම්බියාෙව් හිම්බා ජාතික තරුණියත්

කාලගුණික හා දේශගුණික සධක යන්ට සාපේක්ෂව සංස්කෘතිය හැඩ ගැසෙන ආකාරය ගැන අධ්‍යනය කිරීම ඉතා වැදගත්ය විවිධ සංස්කෘතීන්හි එකිනෙකට ෙවනස්කම් ඇතිවීම කෙරේ බලපාන ප්‍රධාන සාධකයකි කාලගුණ හා දේශගුණික සාධක මෙම සාධත මත සංස්කෘතියක අංග හැඩ ගැසෙයි මේ අතර අභෞතික සංස්කෘතියට අයත් ආහාර ඇදුම් නිවාස උපකරණ ආදිය විශේෂය උදාහරණ ලෙස ඔස්ට්‍රේලියාවේ කන්තාර ආශ්‍රිතව හා ඝණ වනාන්තර තුල දිවි ගෙවූ ස්දේශික ආදිවාසී ජනයා පූර්න වශයෙන්ම නග්නව විසීය සමකාසන්න උෂ්ණ දේශගුණයක් පවතින මධ්‍යම අප්‍රිකානු රටවල ජනය ඇදුම් භාවිත කරන්නේ අඩුවෙනි ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයට බොහෝවිට උඩුකය නග්නව තබාගනී.[2] වික්ටොරියානු සංස්කෘතිය දකුණු ආසියාවට පැමිනණෙන්නට පෙර දකුණු ආසියාතික රටවල පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද උඩුකය නග්නව සිටිබව පැරණි මූලාශ්‍රවල දැක්වේ.[3] අධික ශිත දේශගුණයක් බවතින උත්තරාර්ධ ගොලයේ වෙසෙන එක්ස්කිබෝවරු සත්ව ලොමින් කළ වස්ත්‍රයකින් සිරුර වසෙන සේ ඇදුම් අදිති ඍතු භේදය පවතින යුරෝපීය රටවල මිනිසුන් ශිත කාලයට මුලු සිරුරම වැසෙන සේ අදින අතර ග්‍රීෂ්ම ඍතුවේදී අඩනිරුවත් ඇදුම් අදිති නිරන්තරයෙන් ඍතු විපර්යාසයන්ට ලක්වන ඈත පෙරදිග රටවල්ද මෙසේය නිරන්තරයෙන් වැලි කුණාටු ඇතිවන අරාබි රටවල ජනයා මුලු සිරුරම වැසෙන සේ ඇදුම් අදිති මෙම අදුම් භාවිතයට ප්‍රධාන හේතුව දේශගුණික හා කාලගුණික හේතූන්ය ආහාර සංස්කෘතියද දේෂගුණික හේතුමත තීරණය වනු දක්නට ලැබේ උත්තරාර්ධ ගෝලයේ හිමෙන් වැසුන පරිසරයේ ජීවත්වන එක්කිමෝවරුන්ගේ ප්‍රධාන ආහාරය මාළුය ගොවිතැන් හොදින් කළහැකි දේශගුනික තත්වයක් පවතින දකුණු ආසියාතික රටවල ප්‍රධාන ආහාරය බත්ය තිරිගු හොදින් වැවෙන ප්‍රදේශවල ප්‍රධාන ආහාරය පාන්ය හිමෙන් වැසුන උත්තරාර්ධ ගොලයේ වෙසෙන එස්කිමෝ වරුන්ගේ නිවාස උෂ්ණත්වය රැදෙන සේ සැකසූ ඉග්ලූ නිවාසයි සමකාසන්න ප්‍රදේශවල ජනයා සිසිලස ආරක්ෂාවනසේ පිදුරු පොල්අතු අදීයෙන් සෙවිලිකළ නිිවාසය ඇදහිලි විශ්වාස අභිචාර ආදියද දේශගුණික හේතුමත සැකසේ එක්ස්කිමෝ ජනයා ගේ ඇදහිලි විශ්වාස තුල මසුන් මැරීම හා සතුන් දඩයම සාධාරණීකරනය කර ඇත ශරීඑය වැසෙන සේ වස්ත්‍ර භාවිතය සදාචාරාත්මක ලක්ෂණයක් ලෙස සලකයි එසේ නොවන අය සංස්කෘතික විරොධී චර්යාවන් ලෙස සලකා එසේ කරනවුන් අවමානයට පත් කරයි හින්දු කෝවිලකට ඇතුලුවන පුරුෂයෙකු උඩුකය නග්නව සිටියුතු බව කියතත් කතොලික හෝ මුස්ළිම් පල්ලියක එසේ නොවේ හින්දු ආගම දකුණු ආසියාවේ බිහිවූ අතර කතොලික හා මුස්ළිම් ආගම් යුරෝපය ඇසුරු කරගෙන බිහිවිය සමකාසන්න ප්‍රදේශයක උඩුකය නග්නව තබා ගැනීමට හැකිවුවද හිම මිදෙන යුරෝපයේ හෝ වැලිකුණාටු සහිත අරාබියේ එසේ සිටීම අපහසුය මේ ආකාරයට විවිධ සංස්කෘතීන් හි වෙනස්කම් ඇතිවීමට දේශගුණික සාධක බලපානුලබයි.

භූගෝලීය සාධක

සංස්කරණය

යම් සංස්කෘතියක් හැඩගැසීමෙහිලා භුගෝලීය පිහිටීම් ඉතා වදගත්වෙයි වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනයා බොහෝවිට මුහුද ඇහුරුකරගත් සංස්කෘතියකව අයත්වෙයි බොහොවිට ආහාර සපයාගැනීම මුහුද ඇසුරෙන් සිදුකරයි මසුන් මැරීම වැනි වෘත්තීන් සාධාරණීකරනය කරන ඇදහිලි විශ්වාස පවතී උදාහරණ ලෙස ලංකාවේ වෙරළ තීරයේ වෙසෙන දීවර ප්‍රජාවගේ ආගම මසුන් මැරීම ප්‍රතික්ෂේපකරන බුදු දහම නොව එය සාධාරණීකරනය වන කතොලික දහමයි මාලදිවයින් ජනයාගේ ප්‍රධාන ආගම ඉස්ලාම් ධර්මයයි ප්‍රධාන ආර්ථිකය ධිවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තයයි වෙරළාසන්න ප්‍රෙද්ශවල ජනයා ගේ සංස්කෘතිය ඒ අනුව භුගොලීය පිහිටීම අනුව වෙනස්වේ එසේ සංස්කෘතික සාජප්ක්ෂතාව කෙරේ භුගෝලීය පිහිටීම ප්‍රධානවෙයි.

ඓතිහාසික සංසිද්ධි

සංස්කරණය

යම් රටක ඉතිහාසය තුල අද්දැක ඇති විශේෂ සිදුවීම් සංස්කෘතියක් හැඩගැසීම කෙරෙහි බලපානු ලබයි.යුරෝපා ඉතිහාසය දෙස බැලීමේ දී කුරුස යුද්ධය ප්‍රංශ විප්ලවය ප්‍රොතෙස්තන්තකරණය කාර්මීකරණය ආදී කේන්ද්‍රිය සාධක මගින් යුරෝපා සමාජයේ සංස්කෘතිය වෙනස් වීමකට භාජනය විය.දැඩි ආගමික මතවාද හා වික්ටෝරියානු සදාචාරය වෙනුවට යථානුභත සමාජයකට පරිණාමය වීමට ඉහත කී ඓතිහාසික සාධක බලපෑවේය.පෙරදිග රාජ්‍යයන්හි පැවති වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය බිදවැටී ධනවාදී ආර්ථික ක්‍රමයත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයත් පෙරදිග සමාජයන්හි මුල්බැස ගැනීමට හා වික්ටෝරියානු සදාචාරය පෙරදිග මුල්බැස ගැනීමට බටහිර අධිරාජ්‍යකරණය හේතුවිය.සන්නිවේදන විප්ලවය නිසා සංස්කෘතික විසරණය වෙගවත්විය.කාර්මීකරණයේ ඇතිවූ දියුණුවත් සමග මැදපෙරදිග පැවති වෙළද ආර්ථිකය වෙනුවට ඛනිජ තෙල් නිසා ස්වංපෝෂිත ආර්ථිකයක් ඇතිවිය.

ස්වභාවික ව්‍යසන

සංස්කරණය

සාමාන්‍යෙයන් රටක ඇතිවන ස්වභාවිත විපත් ද සංස්කෘතිය හැඩගැසීම කෙරේ බලපායි.නිරන්තර භුමිකම්පා වලට හසුවන ජපානයේ නිවාස තනන්නේ භුමි කම්පාවලට ඔරොත්තු දෙන අයුරිනි.නිරන්තර වැලි කුණාටු ඇතිවන අරාබියේ ශරීරය හොදින් ආවරණයවන ඇදුම් අදිති.නායයාම් ඇතිවල ප්‍රදේශවල වෙසෙන ජනයා නිවාස තනාගැනීමේ දී භූමියේ පිහිටීම අනුගමනය කරමින් නිවාස තනාගනී.

සංස්කෘතික කම්පනය

සංස්කරණය

සංස්කෘතික කම්පනය යනු එක් සංස්කෘතියක සමාජානුයෝජනය ලැබූ පුද්ගලයෙකු ඊට වඩා වෙනස් සංස්කෘතික ව්‍යුහයක් සහිත සමාජයකට ගියවිට එම පුද්ගලයාට තමාට නුහුරු සංස්කෘතිය තුල අද්දකින සිදුවීම් ඇසුරින් මානසිකව කම්පනයකට අපහසුතාවයකට පත්වීමයි.උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකික සිංහල සංස්කෘතිය තුල හැදුනු වැඩුනු පුද්ගලයෙකු චීනයට ගියහොත් චීන ජාතිකයන් ආහාරයට ගන්නා බටර් යොදා බැදූ කෘබි සතුන් ආහාරයට ලැබිය හැක.මැලේසියාව වැනි රටකදී සර්පයන් ගෙන් සැදූ සුප් ලැබිය හැත අරාබියේදී නම් ඔටුමස් බැටළු මස් වැනි සිංහල සංස්කෘතිය තුල කොහෙත්ම ආහාරයට නොගන්නා දේ ලැබීමට පුළුවන.එසේම ලාංකික ගැමි සමාජයක හැදුනු වැඩුනු කාන්තාවකට බටහිර රටකට ගියවිට අඩ නිරුවතින් මුහුදු වෙරළක හෝ පිහිනුම් තටාකයක නෑමට සිදුවිය හැක.පුරුෂයෙකුටද එසේ අඩ නිරුවත් කාන්තාවන්ද ගැවසෙන මුහුදු වෙරළ වැනි ස්ථානවල අඩ නිරුවත්ව නෑමට සිදුවනු ඇත.මෙයාකාරයට තමා කොහෙත්ම මීට පෙර සමායොජනයවූ සංස්කෘතික ව්‍යුහයට බොහෝ වෙනස් ගුණාංග සහිත සමාජයකදී පුද්ගලයන් දැඩි කම්පනයකට පත්වේ.මාහා සංස්කෘතීන් සම්බන්දව පමනක් නොව උප සංස්කෘතීන් සමබන්දවද මෙසේය.

සංස්කෘතික සරිය

සංස්කරණය

මෙම සංකල්පය ක්ලාර්ක් වයිලස්(1870-1947) සමාජ මානව විද්‍යාඥයා විසින් හදුන්වා දෙනලදී.මෙමගින් ඔහු සංස්කෘතික විසරණය සිදුවන ආකාරය පෙන්වා දෙයි.එනම් එක්තරා භූගෝලීය ප්‍රදේශයක පවතින සමානතා මත ඒ ආශ්‍රිත සංස්කෘතීන්වල පොදු සංස්කෘතිකාංග විසරණයවී ඇතිබවයි.මේ සංස්කෘතිකාංග අතර ජීවිකා වෘත්තිය ආහාර වැනි අංගවල සමානකම් දක්නට ලැබේ.මෙය සංස්කෘතික සරිය නමින් හදුන්වයි.උදාහරණ ලෙස උතුරු පැසිෆික් වෙරළ ආසන්න ප්‍රදේශවල ජීවත්වන ජනයා ගේ ප්‍රධාන ජීවිකා වෘත්තිය සැමන් මසුන් මැරීමයි.අැමසන් හා කැරිබියන් දූපත් වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය මංඤොක්කා වගාවයි.දකුණු ආසියා රටවල ප්‍රධාන ආහාරය බත්ය.මෙයාකාරයෙන් එක්තරා භූගෝලිය සීමාවක් තුල ජීවත්වන විවිධ සංස්කෘතීන්වලට අයත් සමාජ අතර සංස්කෘතිකාංගයන්ගේ සමානතාවයක් දක්නට ලැබේ.

සංස්කෘතික සමෝධානය

සංස්කරණය

සංස්කෘතික සමෝධානය හෙවත් සංස්කෘතික අනුකලනය යනු සම් සමාජයක විවිධ සංස්කෘතීන්වලට අයත් සංස්කෘතීන් අතර සමානතා මෙන්ම වෙනස්කම් දැක්වුවද කුමන ආකාරයෙන් හෝ ඒවා සමස්ථය හා බැඳී පැවතීමයි.උදාහරණ ලෙස පෙරදිග පැවති විවිධ සංස්කෘතීන් අතර කොපමන විෂමතා පැවතියද සමස්ථයක් ලෙස පැවති සමානකම් නිසා සංස්කෘතික ගැටුමක් බවට පරිවර්තනය නොවී විවිධ සංස්කෘතීන්වලට අයත් ජනයා සහයෝගයෙන් විසීය.පෙරදිග පැවති සංස්කෘතික අනුකලනයට බලපෑ සාධක කිහිපයක් සමාජ විද්‍යාඥයන් මෙසේ දක්වයි.

  • දුව්‍යාත්මක සෞන්දර්‍යාත්මක හා ආධ්‍යාත්මික අංශවල පැවති සමානතා
  • ස්වාභාවික පරිසරය සමග පැවති බැඳීම
  • ලෞකිකත්වයට වඩා ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි නැඹුරුව
  • නාගරීකරණයට උනන්දුවක් නොදැක්වීම
  • චින්තනය හා බුද්ධිවාදයට මුල්තැනදීම

සංස්කෘතිය හා සමාජය

සංස්කරණය

සමාජයක් යනු යම් නිශ්චිත ප්‍රදේශයක ජීවත්වන ජන වර්ගයක් හෝ කිහිපයක් පොදු සංස්කෘතියක් හා දේශපාලන ස්වාධීනත්වයක් සහිතව වාසය කිරීම හා අන්තර්ප්‍රජනන ක්‍රියාවලියක් පැවතීම යනුවෙන් සරලව අර්තකතනය කලහැකිය.මානව හා සමාජ විද්‍යාඥයන් මෙවන් සමාජ 03 දක්වයි.එනම්

  1. ප්‍රාථමික සමාජ
  2. ගැමි සමාජ
  3. නාගරික හා සංකීර්ණ සමාජ

මෙම සෑම සමාජයකටම පාහේ ඔවුන්ට අනන්‍ය සංස්කෘතියක් පවතී.

සංස්කෘතිය හා ශිෂ්ටාචාරය

සංස්කරණය

මානව විද්‍යාඥයන් මුල් යුගයේදී සංස්කෘතිය හා ශිෂ්ටාචාරය සමාන කොට සැලකූබව පෙනේ කොස් වෙතත් පසුව මාවන හා සමාජ විද්‍යාඥයන් සංස්කෘතිය හා ශිෂ්ටාචාරය යනු එකක් නොව වෙනස් සංකල්ප දෙකක් බව තේරුම් ගත්හ.ඒ අනුව සෑම ශිෂ්ටාචාරයකටම සංස්තෘතියක් ඇති අතර ශිෂ්ටාචාරගත නොවූ සමාජයකටද සංස්කෘතියක් ඇත.ශිෂ්ටාචාරය පිළිබද බටහිර නිර්වචනය අතීතයේ දී මානවකේන්ද්‍රණවාදීවිය.ඔවුන් බටහිර නොවන සියලු සංස්කෘතීන් ශිෂ්ටාචාරගත නොවූ සංස්කෘති ලෙස අර්තකතනය කළහ.

සංස්කෘතිය හා පෞරුෂය

සංස්කරණය

පෞරුෂය පිළිබද විවිධ නිර්වචන පවතී.පෞරුෂය යනු පුද්ගලයෙකු තමන් අවට පරිසරයට අනුකූලව හැඩගැසීම තීරනය කරන්නාවූ මනෝ කායිත පද්ධතීන්ගේ ගතික සංවිධානයයිˈයනුවෙන් ජී.ඩබ්ලිව් ඔල්පෝට්(1879-1967) පවසයි.තවත් සරලව ගතහොත් පුද්ගලයෙකු ගේ හැසිරීම අන් අයට පෙනෙන ආකාරය පෞරුෂය ලෙස අර්ත ගන්වයි.යම් පුද්ගලයෙකුගේ චර්‍යා පද්ධතිය තීරණය වීමට ඔහු සමාජානුයෝජනය ලබන සංස්කෘතිය ඍජුවම බලපායි.ඇතැම් පුද්ගලයින් අසවලාට පෞරුෂයක් ඇත.අසවලාට පෞරුෂයක් නැත ආදී වශයෙන් පුද්ගල බද්ධ සාධකමත පෞරුෂය වැරදි අයුරින් තේරුම්ගෙන ඇති අයුරු දක්නට ලැබේ.එහෙත් මානෝවිද්‍යාඥයන්ට අනුව සෑම පුද්ගලයෙකුටම පෞරුෂයක් ඇත.පෞරුෂය යනු සංකල්පීය නිර්මිතයකි.

පුද්ගලයාගේ පෞරුෂය සමාජයෙන් සමාජයට වෙනස් වෙයි.පුද්ගලයා සමාජානුයෝජනය ලබන සංස්කෘතිය අනුව ඔහුගේ පෞරුෂය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරියක්වන මාග්‍රට් මීඩ් විසින් නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපේශ් ගෝත්‍රිනයන් ඇසුරින් සිදුකරන ලද පරීක්ෂණය මේයට හොද උදාහරණයකි.එකම වනාන්තරයක් තුල සමාන ගූගෝලීය පිහිටීමක් ඇති පරිසරයක සිටිමින් එහෙත් සංස්කෘතිකමය වශයෙන් වෙනස් සංස්කෘතීන්හි සමාජානුයෝජනය වීම මත එකිනෙකට වෙනස් පෞරුෂ ලක්ෂණ පෙන්වීම මෙහිදී දක්නට ලැබේ.මුණ්ඩුගුමාර් ගෝත්‍රිකයන් ඉතා කලහකාරී ආක්‍රමණශ්‍රීලී අකාරුණික පුද්ගලයන්වූ අතර ඇරපේශ් ගෝත්‍රිකයන් ඉතා සාමකාමී කරුණාබර පිරිසක්විය.මුණ්ඩුගුමාන් ගෝත්‍රික මවුවරු තම දරුවන්ට කිරිදුන්නේ තමාට කැමති මොහොතක මිද දරුවාට අවශ්‍ය අවස්තාවල නොවීය.මුණ්ඩුගුමාර් ළදරුවන් කුසගින්නේ දැඩිවේලාවක් සිටීහ.ඔවුන්ට තම මවගෙන් හෝ වෙනත් වැඩිහිටියන්ගේ ආදරය නිසි අයුරින් නොලැබීය.කුඩා අවදියේ සිටම තම දෙමාපියන්ගේ කෘෘර දණ්ඩනයන්ට භාජනයවීමට සිදුවිය.ඔවුන්ට සැමවිටම තම වැඩිහිටියන්ගේ කලකෝලාහල අද්දකින්නට ලැබේ.එහෙත් මීට සපුරා වෙනස් ලක්ෂණ ඇරපේශ් ගෝත්‍රික වැඩිහිටියන් අනුගමනය කළහ.ඔවුන් තම දරුවන්ට ආදරයෙන් සැළකීය.

සංස්කෘතික ගැටුම්

සංස්කරණය

එකම සමාජයක සංස්කෘතීන් කිහිපයක් නියොජනය කරන ජනවර්ගයන් ඇතිවිට සංස්කෘතික නොගැලපීම් මුල්කරගෙන ගැටුම් ඇතිවේ.උදාහරණ ලෙස ඉන්දීය සමාජයේ හින්දු භක්තිකයන් ගේ පූජනීය සත්වයෙකුවූ ගවයා එම සමාජයේම සිටින මුස්ළිම් බැතිමතුන් තම ආහාරය සදහා මරාදමයි.මෙහදී මෙම කරුණ මුල්කරගෙන හින්දු භක්තිකයන් තුල මුස්ළිම්වරුන් කෙරේ ද්වේශයක් හටගනී.එසේම නේපාලයේ හා ශ්‍රී ලංකාව වැනි රටවල හින්දු හා බෞද්ධයන් අතර ගැටුම් ඇතියන්නේ බිලිපූජා මුල්කරගෙනය.හින්දූන් මස් පිණිස සතුන් මරා නොදැම්මද බිලිපූජා සදහා මහා පරිමානයෙන් ගවයන් එළුවන් ආදී සතුන් මරාදමයි.අවිහිංසාවාදී ඉගෙනුමක් අදහන බෞද්ධයන් මෙය දැඩිලෙස විවේචනය කරති.බටහිර රටවල ප්‍රොතෙස්තන්ද ආචාර දර්ම හදුන්වාදීමත් විද්‍යාෙව් දියුණුවත් නිසා සාම්ප්‍රධායිත ආගමික සංකල්පයන් අතහැර දමමින් ජීවත්වන කතොලික හා ක්‍රිස්තියානි ජනයාත් තවමත් දැඩිලෙස ආගමික මතයන්හි එල්බගෙන සිටින මුස්ළිම්වරුන් අතරද සංස්කෘතිකමය ගැටුම් ඇතිවේ.කතොලික ක්‍රිස්තියානි බැතිමතුන් තම අභිමතය පරිදි ඇඳුම් භාවිත කරද්දී මුස්ළිම්වරු තවමත් තම සාම්ප්‍රධායික ඇඳුම්ම භාවිත කරයි.

වික්ටොරියානු සංස්කෘතිය

සංස්කරණය
 
වික්ටොරියානු සංස්කෘතික යුගයේ බටහිර යුරෝපා සමාජවල කාන්තාවන්ගේ ඇඳුම්

වික්ටොරියානු සංස්කෘතිය යනු බටහිර යුරෝපා රටවල 20 සියවසයට පෙර පැවති සංස්කෘතියයි.මෙකල යුරෝපා සමාජයේ පාලන බලය හිමිකරගෙන තිබුනේ රදළයන් හා පූජකවරුන් විසිනි.විශේෂයෙන් මෙකල ආගමික සංස්තාව ඉතා ප්‍රබල තත්වයක් ඉසිලීය.මෙහිදී පාලකයා තොරාගනු ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බවත්.රජු දෙවියන්ගේ නියොජිතයා දෙවියන් වහන්සේ ගේ කැමැත්ත අනුව පුරවැසියා රජුට යටතිවිය යුතු බවත් වික්ටොරියානු සංස්කෘතිය තුල ඉගැන්වීය.මීට අමතරම මහජනයාගේ සෑම ක්‍රියාවකටම පාගේ අසීමිතව ආගමික සංස්තාවේ බලපෑම් පැවතිණ.මිනිසාගේ ජීව විද්‍යාත්මක ආශයන් දැඩිව අසීමිත ලෙස ශික්ෂණය කිරීමට ආගමික සංස්තාව මැදිනත්විය.විශේෂයෙන් ලිංගික ආශයන් සදහා දැඩි තහංචි වික්ටොරියානු සංස්කෘතිය තුල දක්නට ලැබිණ.එක විවාහ පමණක් සිදුකිරීම.සෑම විවාහයක්ම දෙවියන් ඉදිරියේ එනම් පල්ලියතුල සිදුකිරීම.දෙවියන් විසින් එක්කල දෙදෙනකු දේව කැමැත්ත අනුව දෙවියන් විසින් වෙන්කරන තුරු එනම් මරණය දක්වාම එකට සිටීම.කාන්තාවන්ගේ ඇඳුම් හොදින් ශරීරය වැසෙක පරිදි අඳීම ආදිය විය.එකල බටහිර යුරෝගීය කාන්තාවන්ගේ ප්‍රධාන අඳුම වූයේ ගවුමයි.එය බිම ගෑවෙන තරම් දිගකින් හා මහත කොළරයකින් සමන්විත විය.බොහෝවිට කාන්තාවන් හිස් පළදනාවත් පැළදීය.පුරුෂයන්ගේ අඳුම දිග කලිසමක් හා අත් දිග හෝ කොට කමිසයක්විය.වර්තමානයේ මෙන් නොව ශරීරය හොදින් ආවරණය වන සේ මෙම ඇඳුම් ඇදීමට වික්ටොරියානු සංස්කෘතිය තුල ඉගැන්වීය.කෙසේ වෙතත් මෙම සංස්කෘතිකාංග බටහිර ජාතීන් විසින් පෙරදිගට හඳුන්වා දුන්නේ ඔවුන් ශිෂ්ට සමපන්න බවත් අනෙකුත් බටහිර නොවන ජාතීන් අශිෂ්ට බවත් පවසමින් මානවකේන්ද්‍රණවාදී දෘෂ්ටිකෝණයක පිහිටාය.පෙරදිග ජාතීන් ද වික්ටොරියානු සංස්කෘතියට අවනත කරගැනීමට විවිධ උපක්‍රම යෙදීය.කෙසේ වෙතත් මෙම වික්ටොරියානු සංස්කෘතිය 20 වන සියවසයෙන් පසු බටහිර සමාජයෙන් අභාවයට ගිය අතර පෙරදිග රටවල එය මුල්බැස ගත්හ.

දුගීභාවයේ සංස්කෘතිය

සංස්කරණය

දුගී භවයනු සමාජයක ජීවත්වන පුද්ගලයන්ද තම දෛනික ජීවිතයේ මූලික අවශ්‍යතා පවා හරිහැටි සපුරා ගැනමට නොහැකිවීම යැයි සරලව දැක්විය හැකිය.මෙම දුගීබව පාදක කරගිමින් එයට අනුගතව නිර්මානය වන සංස්කෘතිය දුගීභවේ සංස්කෘතිය ලෙස හදුන්වයි.ඔස්කා ලුවිස් නම්වූ සමාජ මානව විද්‍යාඥයා විසින් ලතින් ඇමරිකානු රටවල දුගී භාවයෙන් පෙළෙන සංස්කෘතීන් අධ්‍යනයට ලක් කරමින් මෙම සංකල්පය ඉදිරිපත් කරන ලදී.මෙලෙස දුගී භාවයෙන් පෙළෙන සමාජවල ජීවත්වන පුද්ගලයන් කාලයක් තිස්සේ මෙයට අනුගතවීම හේතු කොටගෙන එය ඔවුන්ට ආවේණික සංස්කෘතියක් සේ සළකමින් එය තුලම ඇලී ගැලී සිටිමින් එයින් මිදීමට උස්සාහ නොගනිමින් ජීවත්වෙයි.වැඩිහිටි සාමාජිකයන් තම බාල පරම්පරාවද එම සංස්කෘතියටම අනුගත කරනවා විනා එම තත්වයෙන් ගොඩ ඒමට උවුන් දිරිමත් නොකරයි.ඇතැම් රාජ්‍යයන් විසින් මෙසේ දුගීබවෙන් පෙළන පුද්ගලයන් එයින් මුදා ගැනීමට නොයෙක් උස්සාහ කළද එවන් උස්සාහයන් බොහෝමයක් මෙම දුගී බවේ සංස්කෘතියට අනුගතවීම හේතුවෙන් නිෂ්පල කාරනා බවට පත්විය.උදාහරණ ලෙස මොවුන්ට නිවාස ලබාදුන්විට ඔවුන් ඒවා තවත් අයට විකුණා ඒවා නැවත තමා සිටින මුඩුක්කු වෙතයයි.ආහාර සළාක දුන්විට ඒවාද විකුණා අනවශ්‍ය කටයුතුවල යොදවයි.ස්වයං රැකියා කිරීමට ණය ලබාදුන් විට එය එදිනෙදා කටයුතු සදහා වියදම් කර ණය ගෙවාගැනීමට නොහැකිත තවත් කරදරයේ වැටෙයි.මේ ආකාරයට මෙවන් දුගී බවේ සංස්කෘතියට ඇදවැටුනු සමාජයක් නිසි සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයකින් තොරව සිදු කරන බොහෝ සංවර්ධන ක්‍රියාදාමයන් අසාර්තක වෙයි.

සංස්කෘතිය හා පරිසරය

සංස්කරණය

සංස්කෘතිය හා භාෂාව

සංස්කරණය

මානවයාගේ සන්නිවේදන විධි ක්‍රම අතරින් වඩාත් ප්‍රභලතම සන්නිවේදන විධි ක්‍රමය වන්නේ භාෂාවයි. මේ හේතුවෙන් අනිවාර්යයෙන්ම භාෂාව සහ සංස්කෘතිය අතර සබදතාවයක් පවතී.

කිසියම් සංස්කෘතියක් තුල අංග රැසක් පවතී. එනම් කලාව, සාහිත්‍ය, ආකල්ප, ඇදහිලි හා විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, නීතිය, සිතුම් පැතුම්, ආචාර ධර්ම මෙන්ම භාෂාව ද සංස්කෘතියට අයත් අංගයක් වේ.

භාෂාව යනු යම් සංස්කෘතියක් තුල පවතින අංගයක් නොව සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. එයට හේතුව අනෙකුත් සෑම සංස්කෘතිකාංගයක්ම භාෂාව මත රදා පැවතීමයි. මෙම සම්බන්දතාවය විද්වත් අදහස් තුලින්ද පෙන්වා දිය හැකිය.

" භාෂාව යනු සංස්කෘතියෙහි මූලිකම අංගයයි. සංස්කෘතියක ගති ස්වභා හදුනා හැනීමට ඇති හොදම මාර්ගය ද ඒ සංස්කෘතිය සතු භාෂාවේ ගති ස්වභා හදුනා ගැනීමයි. භාෂාව යනු සංස්කෘතිය පිළිබිඹු කරන කැටපතක් වැනිය. සංස්කෘතියක් සතු භාෂාව දකින්නා ඒ සංස්කෘතිය ද හොදින් දකී. " -වාග් විද්‍ය මාහාචාර්‍ය ජේ.බී.දිසානායක-

සමාජ පාලන කෘත්‍ය

සංස්කරණය

සංස්කෘතිය හා සංවර්ධනය

සංස්කරණය

රටක් සංවර්ධනය කිරීමේදී ඇති ප්‍රබල බාධකයක් වන්නේ සංස්කෘතියයි.සංස්කෘතිය බොහෝවිට සංවර්ධනයට එරෙහිව නැගී සිටීයි.එමනිසා සාම්ප්‍රධායික සංස්කෘතීන් අනුගමනය කරන රජ්‍යයන් දියුණු වෙමින් පවතින රාජ්‍යයන් ලෙසත් ආගම හා සංස්කෘතික බැමි ලිහා විද්‍යාව තුලින් ලෝකය දුටු රජ්‍යයන් දියුණු රටවල් බවටත් පරිවර්තනය වී පවතී.ව්‍යවාහාරික සමාජ විද්‍යාඥයන් විසින් සංවර්ධනයට එරෙහිව නැගී සිටින සංස්කෘතික බාධක කිහිපයන් පෙන්වාදෙයි.

කර්මය හා දේව කැමැත්ත

සංස්කරණය

කුල භේදය

සංස්කරණය

අභිචාර

සංස්කරණය

මිත්‍යා විශ්වාස

සංස්කරණය

සංස්කෘතිය හා කාන්තාව

සංස්කරණය
 
වැන්දඹු ස්ත්‍රියක් ඇගේ සැමියා දැවෙන දරසෑයට දමා මරාදැමීම ද��ක්වෙන සිතුවමක්ග

බොහෝ සාම්ප්‍රධායික සංස්කෘතීන් තුල කාන්තාවට හිමිවන්නේ ඉතා අවාසනාවන්ත තත්වයකි.බොහෝ සංස්කෘතීන් මගින් ස්ත්‍රීන්ගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය වන ආකාරය දක්නට ලැබේ.ඇතැම් සංස්කෘතීන්වල ගැහැණු දරුවකුගේ උපත අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකා ළදරු අවධියේදීම මරා දමයි.උදාහරණ ලෙස යනොමාමෝ වැනි ප්‍රාථමික සමාජවල මෙන්ම ඉන්දියාව අරාබි රටවල් දැක්විය හැත.විශේෂයෙන් හින්දු හා ඉස්ලාම් ආගම් අදහන සංස්කෘතීන්වල කාන්තාවන්ගේ සමාජ තත්වය ඉතා ඛෙදජනකය.ඔවුන්ට ආගමික සමාජීය නිදහස අහිමිවී ඇත.ස්වාධීන තීරණ ගැනීමට අවසර නැත.

ලිංග ඡෙදනයˌකන්‍යාභාවයˌසතිපූජාවˌළමා විවාහˌදෑවැද්ද ගැහැණු දරුවන් ළදරුවියේදී මරා දැමීම වැනි සංස්කෘතිකාංග මගින් දැඩි පීඩනයකට කාන්තාවන් පත්වෙයි.ලිංග ඡේදනයේදී කාන්තාවන්ගේ ලිංගික අවයවයන්හි සංවේදී කොටස් එනම් යෝනි තොල් හා භගමනිය කපාදැමීම සිදුවේ එයින් කාන්තාවන්ට දැඩි කායික හා මානසික පීඩාවන් ඇතිවේ.මෙම සංස්කෘතිකාංගය ඇතැම් රටවල නීතිය මගින් තහනම් කර ඇත.කෙසේ වෙතත් සාම්ප්‍රධායික සමාජවල මෙය තවමත් ක්‍රියාත්මකවේ‍ෙ.කන්‍යාභාවය නම් සංස්කෘතිකාංගය මගින් විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම කාන්තාවන්ට පමණක් තහංචි කෙරේ.ප්‍රථම ලිංගික සංසර්ගයේදී රුධිරය පිටවීම මගින් කන්‍යාභාවය නිගමනය කරයි.මෙහි විද්‍යාත්මක පදනමක් නැතිබව කායික විද්‍යාඥයන් පවසයි.ඇතැම් කාන්තාවන්ට උපතින්ම කන්‍යාපටලය පිහිටා නොමැති බවත් ඇතම් හදිසි අනතුරු හා ශල්‍යකර්ම නිසාද කන්‍යාපටලය බිදීයාහැකිබවත්.ස්වං වින්දනයේදී යෝනිමාර්ගයට ඇතැම් ද්‍රව්‍ය අතුළුකිරීමේදීද කන්‍යාපටලය බිදීයාහැකිබවත් වෛද්‍යවරුන් පවසයි.කෙසේ වෙතත් ඇතුම් සංස්කෘතීන්තුල කන්‍යාභාවයට ඉහළ වටිනාකමක් ලබාදී ඇත.බොහෝ රටවල පවතින නීතීන් අනුව විවාහයට පෙර ස්ත්‍රියක් කන්‍යාවියකවී සිටීම අනිවාර්‍ය නැත.එය දික්කසාදයට හේතුවක් ලෙස දැක්විය නොහැකිය.සතිපූජාව යනු විශේෂයෙන් ඉන්දියානු කලාපයේ දක්නට ලැබෙන සංස්කෘතිකාංගයකි.මෙහිදී විවාහක ස්ත්‍රියක් තම සැමියා මියගියපසු ඔහු දැවෙන දරසෑයට පැන සියදිවිනසාගත යුතුය.ස්ත්‍රිය එයට කැමතිවීම හෝ අකමැතිවීම අදාල නොවේ.ඇය ගිලිමැලයට පැනීම ප්‍රතික්ෂේප කලහොත් අවට සිටින පුද්ගලයන් ඇයව බලහත්කාරයෙන් ගිනිමැලයටදමා පුළුස්සා මරාදමයි.මෙම සත්පූජාව සිදුකිරීම ඇතැම් අවස්ථාවලදී අනිවාර්‍ය නැත.උදාහරණ ලෙස යුධ සෙබළෙකු යුධ භූමියේදී ජීවිතය පූජාකලහොත් ඔහුගේ භාර්‍යයාවට සතිපූජාව සිදුකිරීම අනිවාර්‍ය නොවේ.තවද ළදරු වයසේදී මහළු පුරුෂයෙකු හා විවාහවන දැරියකටද තම පුරුෂයා මියගියවිට සතිපූජාව සිදුකිරීම අනිවාර්‍ය නොවේ.ඔවුන්ට නැවත විවාහයක් සිදුකරගැනීම තහනම අතර මුළු ජීවිත කාලයම දේව දාසියක් ලෙස වෘත සමාදන්වීමට සිදුවේ.සතිපූජාව වෛෂ්‍යා ස්ත්‍රීන්ට අදාල නොවේ.ළමා විවාහ මුස්ළිම් හා හින්දු අන්තවාදී සංස්කෘතීන්වල බහුලව ක්‍රියාත්මකවෙයි.මෙහිදී කුඩා දැරියකට මහළු පුරුෂයෙකු විවාහ කරදීම හා කුඩා දරුවන් දෙදෙනකු විවාහකරදීම සිදුවේ.මේ සදහා ආගමික සංකල්ප දුප්පත්කම කන්‍යාභාවය දෑවැද්ද වැනි ඍජුවම බලපානබව මානව විද්‍යාඥයන් පෙන්වාදෙයි.දෑවැද්ද සංකල්පය දකුණු ආසියානු හා යුරෝපීය සමාජවල පවතින සංකල්පයකි.සංවර්ධනය වෙමින් පවතින රටවල මෙය ප්‍රබල සංස්කෘතික බාධකයක් ලෙස පවතී.දෑවැද්ද සදහා වත්කම් නැති කාන්තාවන් අවිවාහකව සිටීමට හා විවාහයෙන් පසු දෑවැද්ද පිළිබද ප්‍රශ්න නිසා කාන්තාවන්ට හිංසා කිරීම හා මරාදැමීමටද ඇතැම් සංස්කෘතීන්වල සිදුවේ.ගැහැණු දරුවන් ළදරුවියේ දී මරා දැමීම ඇතැම් ප්‍රාථමික සමාජවල හා ඇතැමු දියුණුවෙමින් පවතින රටවල සිදුවේ.ඇතැම් අවස්ථාවල ළදැරියක් ඉපදුනවිට ඇයට කිරීදීම ප්‍රතික්ෂෙපකිරීම මගින් එසේත් නැතිනම් අමානුෂික ලෙස මරණයට පත්කිරීම සිදුවේ.තවත් ඇතැම් රටවල ගැහැණු ළදරුවන් කලල අවස්තාවේදීම ගබ්සාව මගින් නූපන් බිළිදියන් මරාදමයි.

මූලාශ්‍ර

සංස්කරණය
  • කුමාර හේමන්ත (2013) සමාජ විද්‍යාව මූලික සංකල්ප න්‍යාය හා ක්‍රමවේදය විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය
  • රත්නපාල නන්දසේන (1995) මානව විද්‍යාව ආරිය ප්‍රකාශකයෝ වරකාපොල
  1. ^ https://en.wikipedia.org/wiki/Hippie#Love_and_sex
  2. ^ https://en.wikipedia.org/wiki/Himba_people
  3. ^ http://www.lankalibrary.com/cul/rodi.htm
"https://si.wikipedia.org/w/index.php?title=සංස්කෘතිය&oldid=731044" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි